HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

සක්වළ ජීවීන්ගේ ගැන ලෝකයට කියා දුන් එරික් වොන් ඩැනිකන්

පිරමීඩ තනන ලද්දේ මෙලොව මිනිසුන් නොව සක්වළ ජීවීන් විසිනැයි මතයක් මෙයින් අඩ සිය වසකට පමණ පෙර ලොව පුරා මිනිසුන් පුදුමයට පත් කළා. ඒ අදහසට වැඩිපුර බරක් දුන්නේ ස්විස් ජාතික ගත් කතුවරයකු වූ එරික් වොන් ඩැනිකන් (Erich von Däniken) නිසා ඔහුට ‘සක්වළ පුරාවිද්‍යාවේ පියා‘ ලෙස හඳුන්වනු ලබනවා. ඒ මතය මුලින්ම ඉදිරිපත් කළේ 1968 දී පළ කළ ඔහුගේ ‘චැරියට්ස් ඔෆ් ද ගෝඩ්ස්‘ (Chariots of the Gods) නම් පොතෙනුයි. ඒ පොත මිලියන ගණනක් විකිණුණා. ඒ අනුව ඔහු පසුව ඒ පිළිබඳ කෘති ගණනාවක් ම පළකළා. පසුගිය ජනවාරියේ (2026 ජනවාරි 10 වනදා) ඔහු මියයන විට 90 හැවිරිදි වියේ පසුවුණා. 


පිටසක්වළ ජීවීන් අතීතයේ දී මෙහි ආ බව ලියූ ස්විස්ජාතික එරික් වොන් ඩැනිකන් (Erich von Däniken)

ඒ පොතෙන් ඔහු කීවේ ආදි මිසර ජාතිකයන්ට යෝධ පිරමීඩ තනන්නට මෙහි පැමිණි සක්වළ ජීවීන් උපකාර කළ බවයි. ඒ කාලයේ පිරමීඩ වැනි දැවැන්ත වාස්තු විද්‍යාත්මක නිමැවුම් කරන්නට මිනිසාට හැකියාවක් නොතිබුණු බව ඔහුගේ මතය වුණා. විශේෂයෙන් ම ඒවා නිමවා ඇති යෝධ ගල් කුට්ටි ඔසවා ගෙන යාමටවත් ඒ ශිෂ්ටාචාරයට අයත් මිනිසුන්ට තාක්ෂණයක් නොතිබුණු බව ඒ කෘතියෙන් ඔහු අවධාරණය කළා. මිසර ශිෂ්ටාචාරයට අයත් මිනිසුන්ට පමණක් නොව මායා ශිෂ්ටාචාරයට අයත් මානවයන්ටත් ඒ යුගයේ මෙහි පැමිණි පිටසක්වළ “අභ්‍යවකාශ ගවේෂකයන්” ඔවුන් සතු හැකියාවන්ගෙන් ආධාර කළ බවත් උසස් තාක්ෂණික දැනුම බෙදා දුන් බවත් ඔහුගේ මතය වුණා.. 

තම මතය සනාථ කරන්නට සාක්ෂි ලෙස වොන් ඩැනිකන් පෙන්වා දුන්නේ පිරමීඩවල අතිශය නිවැරදි ඉංජිනේරු තාක්ෂණය, ඒවා ඉදිකළ ආකාරය පිළිබඳ තවමත් නොවිසඳී ඇති ගැටලු, කැපී පෙනෙන ගණිතමය හා තාරකා විද්‍යාත්මක සම්බන්ධතා පමණක් නොව පැමිණි අමුත්තන් වැනි ජීවීන් නිරූපණය කරන පුරාණ කැටයම් ද ඉදිරිපත් කළා. 

ඊජිප්තු මහා පිරමීඩයේ ඉංජිනේරු නිරවද්‍යතාව මිනිස් හැකියාවෙන් පමණක් පැහැදිලි කළ නොහැකි බව ඔහු අවධාරණය කළා. විශාල ගල් කුට්ටි කෙසේ ගෙන ගියාද, යන්න පමණක් නොව පිරමීඩය ඇතුළත ආලෝකවත් කළේ කෙසේද, යන්නත් එහි නිමැවුම් කරුවන් ගණිතය, පෘථිවිය සහ අභ්‍යවකාශය පිළිබඳ ඉතා දියුණු දැනුමක් ලබා ගත්තේ කෙසේ ද යන්නත් සිය මතය තහවුරු කරන්නට ඔහු ගෙනහැර පෑවා. 

මේ පොත් නිසා ඔහුට විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. එසේ ම කෙටි කාලයක් තුළ ඔහු මේ පොත් අළෙවියෙන් ලොව මහා ධනවතකු ද වුණා. ඔහුගේ මේ පෙරළිකාර මතය පුරාවිද්‍යාඥයන්ට හා ඉතිහාසඥයන්ට විශාල අභියෝගයක් වුණා. 


එරික් වොන් ඩැනිකන් හා ඔහුගේ මුල් පොත Chariots of the Gods

පුරාවිද්‍යාත්මක ගවේෂණ හා පර් යේෂණවලින් ද මේ මතයට සාක්ෂි ලෙස ගත හැකි කරුණු මතු කර ගනු ලැබුවා. ඒ අනුව, පුරාණ ඊජිප්තුවේ විශාල කම්කරු පිරිසක් සිටි බවත්, ඔවුන්ට ආහාර සැපයූ ආකාරය සහ නවාතැන් දුන් ආකාරය පිළිබඳ තොරතුරු හෙළි කර ගනු ලැබුවා. එ්වගේ ම ඔවුන් මිහිදන් කළ සමූහ සොහොන් බිම් ද හමු වුණා. 

පිරමීඩ අසල කළ කැණීම්වලින් කම්කරු නගර ද මතුකරගෙන ඇති අතර, ඒ යෝධ ගල් කුට්ටි කපා ප්‍රවාහනය කළ විශාල ගල්වළවල් ද (quarries) හමු වී තිබෙනවා. 

ඔහු පළ කෘති 25ම ලෝක භාෂා 32කකට වැඩි ගණනකට පරිවර් තනය කරනු ලැබුවා පමණක් නොව ඒවායේ පිටපත් මිලියන 60කට වැඩි ප්‍රමාණයක් අලෙවි වුණා. ඔහුගේ අභාවයත් සමග යළිත් ලෝක අවධානය ඔහුගේ කෘති කෙරෙහි යොමු වී තියෙනවා. 

සක්වළ ජීවීන් පිරමීඩ ඉදිකළ බව කියැවෙන අදහස ජනප්‍රිය සංස්කෘතිය තුළ නැවත නැවතත් මතු වුණා. Futurama සිට Star Trek දක්වා ටීවි ප්‍රබන්ධවලටද එය ඇතුළත් වුණා. මෑතකදී එ් මතයට සහය පළ කළ අය අතරට ලෝක බිලියනපති එලොන් මස්ක් ද එකතු වුණා. 

බිලියනපති මස්ක් 2020 ජූලි මාසයේදී Twitter හි මෙසේ සටහනක් පළ කළා: “Aliens built the pyramids obv.” (“පිරමීඩ හැදුවේ සක්වළ ජීවීන් බව පැහැදිලියි.”) 

වොන් ඩැනිකන්ගේ කෘති, පිරමීඩ සඳහා මිනිසුන් නොවන බලවේග වගකිව යුතු බව පවසන පෙර න්‍යායන් මත ගොඩනැගී තිබුණු අතර, අහිමි වූ ශිෂ්ටාචාරයක් වූ අත්ලාන්තික් වාසීන්ගෙන් ඉතිරිවුණු පිරිසක් මෙම පිරමීඩ ඇතුළු ඉදිකිරීම් කළ බවට මතයක් තවත් කතුවරයකු ඉදිරිපත් කළා. ඒ ඉග්නේෂියස් එල්. ඩොනලී යි. 


එරික් වොන් ඩැනිකන්ගේ අනෙක් පොත් අතරින් කීපයක්.

1968 දී ප්‍රකාශයට පත් කළ Chariots of the Gods නම් කෘතියෙන් වොන් ඩැනිකන් සක්වළ ජීවීන් ඊජිප්තු පාරාවෝවරුන්ට “දෙවන ජීවිතයක්” පොරොන්දු වූ බව දක්වා තියෙනවා. ඔහුට අනුව, පාලකයන් මමීකරණය කර නැවත ජීවිතයට පත්වන අවස්ථාවේ භාවිතයට ගැනීමට වස්තු සමඟ තැන්පත් කිරීමට හේතුව එයයි. ඔහුගේ න්‍යායට අනුව, දෙවියන්ට සමාන මෙම ආගන්තුකයන් යම් දිනෙක තාරකා අතරින් නැවත පැමිණ, මියගිය අයගේ සංරක්ෂිත දේහයන් නැවත ජීවිතයට ගෙන එනු ඇති. 

මහා පිරමීඩය ගැන විස්තර කරමින් වොන් ඩැනිකන් මෙසේ ලීවා: “අඩි 490ක් පමණ උසින් සහ ටොන් 31,200,000ක බරින් යුත් කෘත්‍රිම කන්දක් අතිවිස්මිත ජයග්‍රහණයක් ලෙස එහි නැගී සිටියි. එහෙත්, මෙම ස්මාරකය අතිශය ජේත්තුකාර අධිරාජයකුගේ සොහොනක් පමණක් බව කියයි! එය විශ්වාස කළ හැකි අය විශ්වාස කරනු ඇත…” 

ඔහු තවදුරටත් මෙසේ සඳහන් කරනවා: “චිත්‍ර, කැටයම් සහ පුරාවෘත්තවලින් පෙනී යන්නේ ‘දෙවියන්’ තාරකා අතරින් නැවත පැමිණ හොඳින් සංරක්ෂිත දේහයන්ට නව ජීවිතයක් ලබා දෙන බවට පොරොන්දු වූ බවයි.” එමෙන්ම, ඊජිප්තු කැටයම්වල “පුරාණ මිනිසුන් වෙත පැමිණි” සක්වළ ජීවීන් නිරූපණය කර ඇති බවද ඔහු කියනවා. 

විධිමත් පුරාවිද්‍යා පුහුණුවක් ඔහුට නොතිබුණද, වොන් ඩැනිකන් ඊජිප්තුවට සහ ලතින් ඇමරිකාවට සංචාරය කළ අතර, පොත්, දේශන සහ වීඩියෝ මඟින් ඔහුගේ න්‍යායන් ලොව පුරා ප්‍රචාරය කළා. 

පිරමීඩ ඉදිකිරීමට අවශ්‍ය තාක්ෂණය පුරාණ ඊජිප්තුවේ නොතිබූ බව ඔහු නැවත නැවතත් කියා සිටියා. “පිරමීඩ ඉදිකරුවන්ගේ තාක්ෂණය සම්බන්ධයෙන් ගැටලු බොහොමයක් තිබේ, නමුත් විසඳුම් ඉතා අල්පය,” යනුවෙන්ද ඔහු ලියා තිබුණා. 

ඔහු ඉස්මතු කළ අභිරහස් අතරින් එකක් වූයේ දැවැන්ත ගල් කුට්ටි ප්‍රවාහනය කිරීමයි. ඒවා රෝලර් මත ගෙන ගියේ නම්, එයට අවශ්‍ය දැව ප්‍රමාණය එම යුගයේ නොතිබූ බව ඔහුගේ තර් කය වුණා. මහා පිරමීඩය තුළ කම්කරුවන් හෝ පන්දම් භාවිත කළ බවට සාක්ෂි නොමැති බවද ඔහු පැවසුවා. ඒ අනුව, එම ඉදිකිරීම් පුරාණ මිනිසුන්ට නොතිබූ විද්‍යාත්මක දැනුමක් නිරූපණය කරන බව ඔහුගේ අදහස වුණා. 

“චියොප්ස් පිරමීඩයේ උස මිලියන 1,000කින් ගුණ කළ විට එය පෘථිවිය සහ හිරු අතර දුරට ආසන්න වීම සැබවින්ම අහම්බයක්ද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළා. 

තවද, පිරමීඩය හරහා යන මධ්‍යාහ්න රේඛාව මහාද්වීප හා සාගර දෙක සමාන කොටස් දෙකකට බෙදන බවත්, පිරමීඩයේ මානයන් ගණිතමය නියතයක් වන π (පයි) නිරූපණය කරන බවත් එය අහම්බයක්දැයි ඔහු විමසා සිටියා. 

“පෘථිවියේ බර පිළිබඳ ගණනය කිරීම් සොයාගෙන තිබීමත්, එම ව්‍යුහය පිහිටි ශෛලමය භූමිය ඉතා නිවැරදිව සමතලා කර තිබීමත් අහම්බයක්ද?” යනුවෙන්ද ඔහු තවදුරටත් ලියා තිබුණා. 

වොන් ඩැනිකන් පසුව පුරාණ සක්වළ ජීවී න්‍යායන් තවදුරටත් පුළුල් කරමින් තවත් පොත් 25ක් ලියා පළ කළා. ඒ සමගම Ancient Aliens වැනි රූපවාහිනී වැඩසටහන් මගින් ඔහුගේ අදහස් වඩාත් විශාල ප්‍රේක්ෂක පිරිසකට හඳුන්වා දුන්නා. 

Portraits of Alien Encounters Revisited කෘතියේ කතුවරයා වන නයිජල් වොට්සන් පවසන්නේ, වොන් ඩැනිකන්ගේ සාර් ථකත්වය සාක්ෂිවලට වඩා විශ්වාසය මත පදනම් වූවක් බවයි. 

“ඇපලෝ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම පිළිබඳ උද්යෝගයත්, ස්ටැන්ලි කුබ්රික්ගේ 2001: A Space Odyssey චිත්‍රපටය නිකුත් වීමත් සමඟ ඒ කාලයේ, ඩැනිකන් අනුමාන සහ කල්පනා මිශ්‍ර කරමින් ඕනෑම පුරාණ ඉදිකිරීමක් සක්වළ ජීවීන්ගේ පැමිණීම් සමඟ සම්බන්ධ කළා,” යනුවෙන් වොට්සන් පවසනවා. “ප්‍රධාන පුරාවිද්‍යා මතවලට අභියෝග කරමින්, ඔහු සක්වළ ජීවීන් පිරමීඩ සෘජුවම ඉදිකළා හෝ මිනිසුන්ට ඒවා ඉදිකිරීමට උදව් කළා යැයි ඔහු ප්‍රකාශ කළා,” වොට්සන් තවදුරටත් පැවසීය. 

“මේ අදහස් ගැන සැක පහළ කළ අය කුමක් කීවත් එය ගණනකට ගත්තේ නැහැ. ඔහුගේ මේ මත සියල්ල සත්‍යයන් මත නොව පොදු විශ්වාසයන් මත පදනම් වුණු ඒවායි.. 

ඔහු එම විශ්වාසයන් ප්‍රයෝජනයට ගත්තා. ඒවා සත්‍යද නැද්ද යන්න ඔහුට වැදගත් වුණේ නැහැ; ඒවා ඔහුව ධනවත් හා ප්‍රසිද්ධ කළා. සමහරුන් ඔහු කපටි වංචාකාරයෙකු ලෙස දකින්න පුළුවන්. තවත් අය ඔහුව ප්‍රධාන ධාරාවේ විද්‍යාවට එරෙහිව සටන් කළ අභීත පුරෝගාමියෙකු ලෙස දකිනවා.” නීල් අවසාන වශයෙන් කියනවා. 

- පර්සි ජයමාන්න

 

 

අදහසක් පළ කරන්න

0 Comments